අද තමයි ලෝක පයි දිනය. කල්පනා කරල බැලුවොත් ඇයි අද පයි දියන කියල හිතාගන්න අමාරු වෙන එකක් නෑ. අද පයි දිනයෙ පයි වෙලාව තමා එකයි පනස් නවයයි තත්පර විසි හය! මේ සටහන පයි ගැන අමුතු අමුතු කාරණා සොයන්නන්නට. පයි ගැන ඔබ තුමන් ලා දන්නා වැඩි විස්තරත් කොමෙන්‍ටුවකින් දාලා යන්ට.
1. පයි කියන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන දෙයක්. පයි කියන්නේ "ලොව වැදගත්ම" නියතය බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක්.
2. පයි කියන්නේ අපරිමේය (මේ සිංහල වචනෙ නං හරිද මන්දා, ඉරැශනල් කියලයි කඩ්ඩෙං කියන්නේ) සංඛාවක්. ඒ කියන්නේ දශමස්ථාන ඉවර වෙන්නේ නෑ, දශමස්ථාන පුනරාවර්තනය (රිපීටිං ඩෙසිමල්ස්) වෙන්නෙත් නෑ. ඒ කියන්නේ p/q ආකාරයෙන් (p,q තාත්වික සංඛ්‍යා) ආකාරයෙන් පයි ප්‍රකාශ කරන්න බෑ!
3. ඒක නිසා වෘත්තයක පරිධිය/වර්ගඵලය, ගෝලයක වර්ගඵලය හා පරිමාව වගේ පයි කියන නියතය අඩංගුවන දේවල් න්‍යායිකව හොයලා කවමදාකවත් හරියටම කියන්න බෑ!
4. පයි වල මුල් අංක එකසිය හතලිස් හතරේ අගය හයසිය හැට හයට සමානයි. (666 යක්ෂයාගේ ඉලක්කම)
5. දෙදහස් දෙකේදී ජපන් ජාතික ගණිතඥයන් පිරිසක් සුපිරි පරිඝනකයක් යොදාගෙහ පයි දශමස්ථාන ට්‍රිලියන 1.24 ක් ගණනය කර තිබුණා. කට්ටිය බලයි නේ මොකද මෙච්චර මේක ගැන නිවැරදිව හොයන්නේ කියලා.. උදාහරණයක් විදියට ගන්නකෝ අපේ මන්දාකිණියේ විශාලත්වය. අන්න ඒ වගේ රවුමක් කොච්චර ලොකුද කියලා බලාගන්න නිකං දන්න 22/7 න් ගුණ කරලා හරියන්නේ නෑ! හැබැයි දන්න කටිටිය නම් කියන්නේ දශමස්ථාන සීයකට අගය ඕනෑවටත් වඩා වැඩිය ප්‍රමාණවත් කියලා ඔය ගැලැක්සි වැඩේටත්!
6. පයි මුලින්ම නිවැරදි ක්‍රමයක් අනුගමනය කරමින් අනුමාන කළේ සරකියුසාවේ ආකිමිඩිස්, එහෙම නැත්නං නිකංම නිකං ආකිමිඩිස්! රෝම අධිරාජ්‍යයා සරකියුසාව යටත් කරගෙන ආකිමිඩිස්ව ගෙන්නගන්න පණිවුඩ යවලා තියෙනවා. ආකිමිඩිස් තමගේ කටයුතු වලට කෙතරම් අචධානයක් යොමුකර තිබුණාද කියනවානම් රෝමයට තමන්ගේ ප්‍රදේශය යටත් වුණු බව වත් දැනගෙන ඉඳලා නෑ! ආකිමිඩිස් බව නොදැන රෝමන් සොල්දාදුවන් අතින් ආකිමිඩිස් මිය යද්දී, "do not touch my circles!! යනුවෙන් ආකිමිඩිස් ග්‍රීක් බසින් මොරදුන් වග සඳහන්.
7. ඇල්බට් අයින්ස්ටයින් පයි දවසේ උපන්නෙක්.
8. ආකිමිඩිස්ට පළමුව පයි පිළිබඳව ඊජිප්තු පැපිරස් ලියමනක සඳහන් වෙනවා. මේ ලියමන 1650 බී.සී. තරම් පැරණියි!
9. පයි කියන නියතය මිනිසුන් සෘජුව හෝ වක්‍රව භාවිතා කරන්නට පටන් අරන් වසර හාරදහසකට වැඩියි!
10. ග්‍රෙගරි ලෙබනීස් ශ්‍රේණිය පයි අගය ලබාගැනීමට ඇති සරල සූත්‍රයක්. පද ගණන අනන්තය දක්වා දිවෙනවා.
11. ගිසා හි පිරමීඩයේ පරිධිය හා උස අතර අනුපාතය පයි ගේ අගය මෙන් දෙගුණයකට ඉතා ආසන්නයෙන් සමානයි.
12. පයි ගේ දශමස්ථාන නිවැරදිව මතකයෙන් කීමට අයිති ගිනස් වාර්ථාව සතු වන්නේ චීන ජාතිකයෙකුට. ඔහුට දශමස්ථාන 67,890 ක් නිවැරදිව පයිගේ අගය කීමට පුළුවන් වෙලා තියෙනවා.
සුබ පයි දවසක් වේවා...!!
ප.ලි.
පයි දිනය - මාර්තු දා හතර - පයි ගේ මුල් ඉලක්කම් 3.14 පයි වෙලාව 1.59.26 ..පයි ගේ මුල් අංක 3.1415926